“අපේ සේවකයන්ට කොරෝනා නෑ” – හේලීස් සමාගම කියයි

0
684

ගාල්ල මාගාල්ලේ පිහිටි හේලීස් ආයතනයේ කොරෝනා ආසාදනය වූ බවට වාර්තා වූ සේවකයන් හතර දෙනාගේ දෙවැනි පීසීආර් පරීක්ෂණ අනුව ඔවුන් කොරෝනා ආසාදිතයන් නොවන බව සෞඛ්‍ය අංශ පවසයි.

අප මේ පිළිබඳ සෞඛ්‍ය අංශවලින් විමසා සිටියේ හේලීස් ආයතනයේ මානව සම්පත්  කළමනාකාර ශාන්ත කුමාර විසින් ඒ පිළිබඳ rata.lk වෙත දැනුම් දීමෙන් අනතුරුව එය තහවුරු කරගැනීමේ අපේක්ෂාවෙනි.

ගාල්ල දිස්ත්‍රික් සෞඛය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ හේලීස් සමාගමේ සේවකයන් ආසාදිතයන් යැයි පෞද්ගලික රෝහලකින් ලබා දී තිබූ වාර්තාව අනුව ඔවුන් ආසාදිතයන් ලෙස සළකා ක්‍රියා කළ බවයි. එසේ වුව ද එම පුද්ගලයන්ට කොරෝනා ආසාදනය වීමට හැකි මූලාශ්‍රයක් සොයාගත නොහැකිවීමත්, ඔවුන් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා සිටීමත් හේතුවෙන් දෙවැනි වර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු මාර්ගයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ සෘණාත්මක බවද හෙතෙම කීවේය. මේ අනුව එම සිව්දෙනා කොරෝනා ආසාදනය නොවූ බවට තහවුරු කර ඇත.

හේලීස් සමාගමේ  මානව සම්පත් කළමනාකරු ශාන්ත කුමාර මෙසේ පැවසීය.

“ කොරෝනා ආසාදිතයන් රටේ විවිධ ස්ථානවලින් වාර්තාවීම හේතුවෙන් අපි සමාජයීය වගකීමක් හැටියට අපේ ආයතනයේ සේවක සේවිකාවන් 292 ක් සඳහා එක් අයකුට රුපියල් 6,500.00 බැගින් මුදලක් ගෙවලා ආයතනය විසින් ම පීසීආර් පරීක්ෂණ සිදුකළා. ඒ පසුගිය 28 වැනිදා. මෙය කළේ ගාල්ලේ සහ කොළඹ නාරාහේන්පිට ශාඛා ඇති පුද්ගලික රෝහලකින්. 31 වැනි දා වාර්තා ලැබුණා. එම වාර්තා අතරින් හතරක් කොරෝනා ආසාදිත බවට සඳහන් වුණා. අපි මේ ගැන සෞඛ්‍ය අංශ දැනුම්වත් කරලා ඒ අය කොළඹ නෙවිල් ප්‍රනාන්දු රෝහලට යොමු කළා ප්‍රතිකාර සඳහා. නමුත් මේ අයට කොරෝනා ආසාදනය වීමේ මූලාශ්‍රයක් නොතිබූ නිසාත් රෝග ලක්ෂණ නොපෙන්වූ නිසාත් අපි රජයෙන් ඉල්ලා සිටියා නැවත පීසීආර් පරීක්ෂණයක් කරන්න කියලා. රජය දෙවැනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු මගින් දෙවැනි පීසීආර් පරීක්ෂණ සිදුකළ විට මේ වාර්තා නෙගටිව් වෙලා. ඒ අය කොරෝනා ආසාදිතයන් නෙවෙයි.”

ඔහු පවසන්නේ පුද්ගලික රෝහලෙන් ලබා දුන් වාර්තාව වැරදි බවයි. මේ වාර්තාවල කොරෝනා ආසාදිතයන් ලෙස ඔවුන් හඳුන්වාදී තිබූ බැවින් තවත් සේවක සේවිකාවන් රැසක් නිවෙස්වලම නිරෝධායනය කිරීමට සිදුව තිබිණි. ඒ අය පිළිබඳ තොරතුරු ලැබුණු අවට ගම්වාසීන් නිරෝධායනය වන පිරිස් පවා කොරෝනා ආසාදිතයන් ලෙස හඳුන්වාදීමෙන් තම ආයතනයේ සේවකයන්ට විශාල මානසික පීඩාවක් හා සමාජ අපකීර්තියකට ලක්වීමට සිදුව ඇති බව හෙතෙම පැවසීය. හේලීස් සමාගමේ සිව් දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සියලු මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබා දුන්න ද ඔවුන්ගේ දෙවැනි පීසීආර් පරීක්ෂණය නෙගටිව් වීම සම්බන්ධයෙන් ප්‍රචාරය නොකිරීම බරපතල ගැටලුවක් බව සමාගමේ පිරිස් කළමනාකාරවරයා කීවේය. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ සමාගමේ කීර්ති නාමයට ද මෙය කැළලක් වූ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here